Categories: wmf.a mqj;a

ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව 2023 නොවැම්බර් 28 දින සාර්ථක ලෙස පැවැත්විණි. Start-Up-Cycle යනු Plasticcycle විසින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ අංශය වන John Keells X සහ එම සමූහයේ පර්යේෂණ හා සංවර්ධන අංශය වන John Keells Research සමග එක්ව ක්‍රියාවට නංවන ලද අභියෝගතා පදනමකි. නව්‍ය, ප්‍රායෝගික හා දීර්ඝකාලීන විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා මෙරට ව්‍යවසායකයන් සහ නවෝත්පාදකයන් දිරිගැන්වීම එහි මූලික අරමුණු වේ.

2023 සැප්තැම්බර් මාසය වන විට මෙම වැඩසටහනට අයදුම්පත් 100 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණු අතර, ඒ අනුව ජෝන් කීල්ස් සමූහයේ සංචාරක සේවා, පාරිභෝගික ආහාරපාන සහ පාරිභෝගික වෙළඳාම් යන අංශවල ව්‍යාපාර අතරින් මෙම වැඩසටහනට දායක වන විසඳුම් සම්පාදකයන් සහ ප්‍රශ්න ප්‍රකාශ හිමියන් එක් වී Open Day වැඩසටහනක් සංවිධානය කරන ලදි. 2023 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වී සති 6 ක කාලයක් පුරා පැවති මෙම වැඩසටහන තුළදී ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයන් සමග සමීපව කටයුතු කරමින්, අවම ශක්‍යතා නිෂ්පාදන (Minimum Viable Products – MVP), බුද්ධිමය දේපළ, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් ආදිය සම්බන්ධයෙන් තම දැනුම පුළුල් කරගැනීමට අයදුම්කරුවන්ට අවස්ථාව උදා විය.

“ජෝන් කීල්ස් සමූහය Plasticcycle වැඩසටහන දියත් කළේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය මැඩලීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමේ අරමුණ ඇතිවයි. ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඇතිකරගනිමින් මෙරට තුළ එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, වගකීම්සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අත්වැලක් වීම සහ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් හා නවෝත්පාදන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම යන මූලික අරමුණු කෙරෙහි Plasticcycle ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනවා. මේ වනවිට මෙය අප සමූහයෙන් ඔබ්බට විහිදෙමින්, අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තයේ චක්‍රීය ආර්ථිකයේ අනිවාර්ය අංගයක් බවට පත්ව තිබීම සතුටට කරුණක්. වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය හොඳම විසඳුම් හඳුනාගැනීමට අප නිරන්තරයෙන් කැප වී සිටිනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සංචාරක සේවා අංශයේ සහ සමාජ ව්‍යවසායකත්ව කටයුතු සම්බන්ධ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා පැවසී ය.

අයදුම්කරුවන් අතරින් කෙටි-ලැයිස්තුගත වූ 8 දෙනෙකුට, වැඩසටහනේ විනිශ්චය මණ්ඩලය වෙත තම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය. Bluestone Capital Private Limited හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන, මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා සරෝජිනී ජයසේකර සහ Ceylon Cold Stores PLC හි විධායක නොවන අධ්‍යක්ෂිකා ශාමිනී රත්වත්ත යන මහත්ම මහත්මීහු Demo Day වැඩසටහනේ විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කළහ. මෙහිදී ඉදිරිපත් කරන ලද යෝජනා මගින් අදාළ ප්‍රශ්න ප්‍රකාශයට සිදුවන බලපෑම, පිරිවැය-කාර්යක්ෂමතාව, වෙළඳපළ හා පාරිභෝගිකයන් පිළිබඳ දැනුම, ව්‍යවසායකත්ව ආකල්ප, තරගකාරී වාසිය, සැලසුම් ක්‍රියාවට නංවන ආකාරය සහ මූල්‍ය ක්‍රමෝපාය යන අංශ සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකෙරිණි. මෙහිදී ටාෂිනී විතානගේ (නිෂ්පාදනය: හෝටල් ක්ෂේත්‍රයේ භාවිතා කරන ප්ලාස්ටික් ක්ලිං රැප් වෙනුවට දිරායනසුලු විකල්පයක්), පද්මශාන්ත ෆොන්සේකා (නිෂ්පාදනය: හෝටල් ක්ෂේත්‍රයේ භාවිතා වන ප්ලාස්ටික් ආහාර බහාලුම් පෙට්ටි වෙනුවට දිරායනසුලු විකල්පයක්) සහ රශ්මි මොහොට්ටි (නිෂ්පාදනය: සුපිරි වෙළඳසැල්වල බීම රැගෙන යාම සඳහා ලබාදෙන ප්ලාස්ටික් කෝප්ප වෙනුවට දිරායනසුලු විකල්පයක්) යන අයට ජයග්‍රහණය හිමි වූ අතර, ඔවුන්ට තම ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 10 ක් දක්වා මූල්‍යමය සහයක් හිමි විය. එමෙන්ම ඔවුන්ට ජෝන් කීල්ස් සමූහයට අයත් අදාළ ව්‍යාපාර සමග සමීපව කටයුතු කිරීමේ අවස්ථාවද හිමි වනු ඇත.

“පාරිසරික අභියෝග අපට බරපතළ ලෙස දැනෙමින් පවතින මෙවන් මොහොතක, මෙවැනි වැඩසටහන් මගින් මේ සම්බන්ධයෙන් සැබෑම උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින්, යහපත් වෙනසක් සඳහා මුලපිරීමට අගනා අවස්ථාවක් ලැබෙනවා. මෙවැනි උත්සාහයන් සඳහා අරමුදල් සැපයීමට ජෝන් කීල්ස් සමූහ ගන්නා උත්සාහය, පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්මයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමේ ප්‍රවණතාව සමග මැනවින් සමපාත වන බව කියන්නට පුළුවන්. මෙවැනි ආරම්භක මට්ටමේ ව්‍යාපාරයන්ට අත්වැලක් වීම සහ ඔවුන්ගේ දියුණුවට දායක වීම මගින් පෙරළිකාරී නවෝත්පාදනයන් හඳුන්වා දීමට මෙන්ම තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා. මෙය ආයතනික පුරවැසිභාවය සහ ව්‍යවසායකත්ව ආකල්ප අතර පවතින අන්තර්-සම්බන්ධතාවන්ට මනා නිදර්ශනයක් ලෙස හැඳින්විය හැකියි.” අජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

Plasticcyle යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) මගින් ක්‍රියාවට නංවා ඇති සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතර විශාලතම සමාගමයි. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන, වසර 150 කට අධික ඉතිහාසයක් සහිත ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

සම්පූර්ණ ඇල්බමය නැරඹීමට මෙතන ක්ලික් කරන්න.

admin-plast

Recent Posts

IFS පදනම සමග එක්ව මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ වැඩසටහන

IFS පදනමේ ආයතනික ප්‍රජා සත්කාර දිනයට සමගාමීව එම පදනමේ 12 දෙනෙකුගේ ස්වේච්ඡා දායකත්වයෙන් යුතුව 2024…

2 months ago

Business Network International හි කොළඹ සමාජිකත්ව එකතුව වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ සැසිය

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Referral සමාගමක් වන Business Network International (BNI) හි…

2 months ago

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී…

3 months ago

Plasticcycle සහ The Pearl Protectors “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන…

11 months ago